සිවු හෙලේ රජ, මහා රාවනයන් ගේ කථාව – හැකි තරම් කෙටි කර දිගහැර ඇත.

රාවණා යනු කවුද?


පුලස්ති ඉසිවරයා ගේ පුතා වන වෛශ්‍රව ඉසිවරයාගේත්සුමාලි රජ ගේ දූ වන පුෂ්පොත්කටා කුමරියගේත් (කෛකසී)  පුත් කුමාරයෙක් තමයි රාවණා රජු කියලා අපි හදුන්වන්නේ. ඉතින් මේ රාවන කුමාරයාට සොයුරන් කිහිප දෙනෙකුත් ඉන්නවා ඒ අයගේ නම් තමයි වෙශණ, කුම්භකර්ණ, විභීෂණ, කරන් සහ දූෂණන් (නිවුන්).  ඒ වගේම නැගෙනිය කුත් ඉන්නවා සුපර්ණකා කියලා. මාමන්ඩි  වන්නේ කාළනෙමි ඉසිවරයා. නැන්දනිය වන්නේ තාධකා. 

ප්රාග් ඓතිහාසික යුගයේ සිරිලක පාලනය කළ මෙන්ම ලොවේ බොහෝ රාජ්‍යයන් සිය අණසකට නතු කර ගත් ශ්රේෂ්ඨ පාලකයෙක් ලෙස රාවණා රජු නමි කළ හැකිය. සාහිත්‍යයේ සඳහන් වන පරිදි, රාවණා හට හිස් දහයක් සහ අත් ගණනාවක් පවතිනවා යැයි කීමෙන් පෙනීයන්නේ, ඔහු තුල තිබූ විවිධාකාර දේ කිරීමට තුබූ නිපුණතාවය මිස සැබෑ ලෙසම ‍හිස් දහසක් තිබුණා යන්න නොවේ..

 

රාවනා රජු යනු අහස, පොළව, මුහුද යන සියල්ල ජය ගත්තෙකි. ඔහු සතු වූ ගුවන් යානා ආකෘතිය රයිට් සහෝදරයන්ගේ අත්හදා බැලීම් වලද යම් තාක් දුරකට පෙන්නුම් කෙරේ. ගුවන් යානා ආධාරයෙන් රට රටවල, දේශ දේශාන්තර තරණය කළ ලොව ප‍්‍රථම රජු ලක්දිව රාවණා හැටියට ඉතිහාසය ගත වෙයි. මුහුද ජය ගනිමින් තැනූ විශ්මිත යාත‍්‍රා පෙළක් රාවණා සතු විණ. ඒවා සකස් කිරීමට වෙනම බල ඇනියක් සිටි අතර මොවූහු පුරාණ නාග ග්‍රෝතික පෙළපතට අයත් වෙති. එසේ ගත් කළ රාවණ යුගය ලෝක ඉතිහාසයේ ඓතිහාසික යුගයක් හැටියට සටහන්වේ.
අහසින් යාමට යානාද, මුහුදෙන් යාමට යාත‍්‍රාද, අමතරව වෙනම නිල යානා භාවිත කරන්නට තරම් රාවණා මහා බලසම්පන්නයෙකු විය. ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් සඳහන් කරන පරිදි අඟහරු ලෝකය රාවණා රජු නිරන්තර ආව ගිය ග‍්‍රහ ලෝකයකි. එහි යාමට විශේෂ ගුවන් මාර්ගයක් ලෙස ලකේගල සිට අහසට ගොස් ඇත.
අඟහරු ග‍්‍රහ ලෝකයහි ජලය තිබේද? ජීවීන් පවතීද? නිසරු බිමක්ද යන පර්යේෂණ බටහිර විද්‍යාඥයන් මෙකල ගැඹුරින් අධ්‍යනය කරමින් සිටීන කරැණකි. ඒ වාගේම ඔබත් සොයා බළන්න දැන් ඒ කරැණු එකින් එක ඇත්ත බවට හැරෙමින් පවතින් නිසාවෙන් ඉතිහාසයේ එවැන්නක් සිදු වී ඇති බව අද අගහරැ වල ඇතියි කියා සොයා ගත් සුලු කරැණු සාක්ෂි දරණු ඇත. එදා ඒ මිනිසුන් සතු දැණුමින් එක බිදක් අද ලෝකය සතුව නැත. තවමත් අතපත ගාමින් සිටී.

රාවණා රජුට අයත් මුහුදු යාත‍්‍රා වැඩි ප‍්‍රමාණයක් ස්ථාන ගත කෙරුණේ ත‍්‍රිකුණාමලය මුල් කර ගත් නැව් තොටෙහිය.
රාවණාගේ ගුවන් යානා ස්ථාන ගත කළේ කොහිද? ඒ සඳහා ගුවන් තොට ගණනාවක් රටපුරා තිබිණි. විශේ්ෂයෙන් ‘‘වාරියපොළ’’ නමින් ප‍්‍රසිද්ධ නගරයත්, ‘‘වාරියපොළ’’ නමින් විවිධ දිස්ත‍්‍රික්ක වල පවතින ප‍්‍රදේශත් රාවණා රජුගේ වාතයෙන් ගමන් කළ ගුවන් යාත‍්‍රා ස්ථාන ගත ප‍්‍රදේශයි.
නැගෙනහිර පළාතේ වාකරේ සහ තොප්පිගලද කුඩා ගුවන් යානා ස්ථාන ගත කළ තැන්ය. මත්තල ගුවන් තොට ඉඳිවූ තැනම එදා ගුවන් තොටක් තිබුණු බව ආචාර්ය මිරැන්ඩෝ කියයි. විශේෂයෙන් රාවණා රජ දවස රට අභ්‍යන්තරයේ පියාසර කළ ගුවන් යානා ස්ථාන ගත කෙරුණේ මත්තල ප‍්‍රදේශයේය.

 

 

 

එකල භාරතය පවා රාවණ අණසකට යටත් වු දේශයකි. ඔහු සතුව පුදුමාකාර ඥාන සමිභාරයක් තිබිණි. නිර්මාංශ ජීවිතයක්‌ ගත කළ මහා රාවණ රජු උදේ සවස ඖෂධ කොළ කැඳ පානය කිරීමත්, නිතර යෝගී භාවනාවේ යෙදීමත් ඉතා ප්‍රිය කළහ. රාවණා රජු වැඩි වශයෙන් ආහාරයට ගෙන ඇත්තේ පළතුරු වර්ගයි. රාවණා රජුගේ ප‍්‍රධාන පානය තැඹිලි සහ කුරුම්බාය. රජු ජලය පානය කර ඇත්තේ අල්ප වශයෙනි. එතුමා පානය කළ ජලය ලග්ගල ප‍්‍රදේශයේ සිට විශාල භාජන වල ආධාරයෙන් රජ මාළිගාවලට ගෙන ගිය බව කියැවේ. රාවණා රජතුමා කලටි කුරුම්බා මඳ ඉතා ප‍්‍රිය ජනක ලෙස ආහාරයට ගෙන තිබේ. එතුමා පළතුරු වර්ග ආහාරයට ගත්තද දුරියන්, රඹුටන්, මැංගුස් සහ අන්නාසි අප‍්‍රිය කළ බව සඳහන් වේ. රාවණ දේවාලවලට පූජා වට්ටි තබන්නේ නම් ඉහත පළතුරු නොතැබිය යුතු බව මිරැන්ඩෝ සඳහන් කරයි.
රාවණා සමයේදී තණකොළ ගසේ සිට සියලූ පැළෑටි ගස් ඖෂධ හැටියට ගෙන තිබේ. ඒ ඒ ශාක ආධාරයෙන් ඖෂධ වට්ටෝරු සකස් කොට ඇති අතර අදාළ ශාක කුමන රෝගයට ගැළපේද පමණක් තේරුම් ගැනීම ඥානවන්තව කළ යුතුය. ඉඩ ලැබෙන හැම මොහොතකම තමා අවබෝධ කරගත් ලෝකයට වැඩදායක විශ්මිත දැනුම ලියා තැබූහ. සංස්කෘත භාෂාවෙන්  රචනාකර ඇති ග්‍රන්ථ කිහිපයක් මෙසේය

  • කුමාර තන්ත්‍රය (කුමාර චිකිත්සා) : ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගුය, 
  • උදිස්සා තන්ත්‍රය (උද්දීය තන්ත්රාය) : මෝහන ප්රීතිකාරය හා ගුප්ත විද්යාරවන් පිළිබදව,
  • නාඩි ප්‍රකාශය :- නාඩි ශාස්ත්රායට අනුව රෝග නිශ්චය,
  • අර්ක ප්‍රකාශය .
  • රසරත්නාකරය.
  • වටිකා ප්‍රකරණය.

මේ ග්‍රන්ත වල රවුලන්ගේ ප්‍රධානත්වයෙන් හිමාලයෙහි ආයුර්වේද සම්මන්ත්‍රණයක් පැවැත්වූ බවද සදහන් වී ඇත. ඒ අනුව රාවණ අති දක්ෂ වෛද්‍යවරයකු , මනෝ වෛද්‍යවරයකු මෙන්ම ප්‍රථම වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ද වේ.

රාවණා රජුගේ ප‍්‍රධානම උද්‍යානය සිංහරාජයයි. අද එය වනාන්තරයක් හැටියට නම් කළද මෙය රාජකීය උද්‍යානයෙකි. එබැවින් රාවණ අදත් නිරන්තරව මෙහි සැරිසරන බව ආචාර්ය මිරැන්ඩෝ සඳහන් කරයි. රාවණ රජු තමාට හීලෑ වන පරිදි ඇති කළ අලි, කොටි, ආදී සතුන් බොහෝ මෙහි සිටියහ. අදටත් අලි මෙල්ල කරගෙන සිටීමට භාවිතා කරන ‘අලි භාෂාවේ’ වචන එදා යක්ෂ ග්‍රෝත‍්‍රිකයන් අලි හීලෑ කර ගැනීමට භාවිතා කර ගත් ඒවා වෙයි.

යුද දැනුමෙන් පරතෙරට ගිය මෙතුමා අද ලෝකයේ පවතින නවීන අවි ආයුධ හා ලේසර් කිරණ මගින් පහරදීමේ ක්‍රමවැනි තාක්ෂණිකමය සොයාගැනීම් වලට අමතරව කොටස් 7කින් යුක්ත වූ  අංගං ශාස්ත්‍රය , යක්ෂ ගෝත්‍රික සටන් ක්‍රම 7ට තවත් කොටසක් එකතු කිරීමට රාවණා සමත් වේ. අදටත් රාවණා සෙල්ලම් යනුවෙන් හැඳින්වෙන රාවණා රජු විසින් දියුණු කරන ලද සටන් ශිල්ප ක්‍රම අංගම්පොර සටන් කලාව තුළ දක්නට ලැබේ. මෙවැනි අන්තිම එකතු කිරීමක් ලෙස සීතාවක යුගයේ දීපළමුවන රාජසිංහ රජ හොවත් ටිකිරි කුමාරයා විසින් අංගං ශාස්ත්‍රයට “ඉලංගක්කාර” නැමැති කොටස සැලකේ.

ඕනෑම මාරාන්තික රෝගියකු සුවකර ගැනීමේ මහා විශ්මිත වෛද්‍යවරයකු වූහ. සංගීතයට කලාවට ඉතා ආදරය කළහ. ස්‌වභාව ධර්මයට ඉතාම සමීප වූහ.

විවිධ ආත්ම ගෙන්වා කතා කර අදහස්‌ හුවමාරු කර ගැනීමටත්, විශ්වයේ වෙනත් ග්‍රහලෝක වලට සංචාරය කිරීමටත් එතුමාට හැකියාව තිබුණි.

රාවණ රජු රටේ කොතැන ඇවිද්දත් ඔහු සමග නිතර යන චරිතය නම් විභූති යක්ෂයාය. ඇතැම් විට විභූති යක්ෂයා රජු අදාල තැනට යාමට පෙර එහි ගොස් අවශ්‍ය පසුබිම සුදානම් කර එයි. එහිදී ඒ ස්ථානය රකින මනුෂයන්ට ආශිර්වාදයද, කිලිටි කරන, නසා විනාශ කරන අයට දඬුවම්ද හිමිවිම සාමාන්‍ය දෙයකි. හුදෙක් විභූතිි යක්ෂයා යනු රාවණාගේ ප‍්‍රධාන ආරක්ෂකයෙකි. රාවණාට දෙන භාරහාර පවා පිළිගන්නේ විභූති යක්ෂයාය. රාවණාට යම් කෙනකුට දඬුවම් කළ යුතු බවයට සිතක් පහළ වුවහොත් රජු ඒ බව විභූතිට දැනුම් දේ. දඬුවම රජුට උවමනා විදිහටත් වඩා හොඳින් විභූති යක්ෂයා ක‍්‍රියාත්මක කර දේ. එබැවින් රාවණාට අදාළ තැන අපිරිසිදු කිරීම, රාවණට ශාප කිරීම, ආදිය පිළිබඳ විභූති යක්ෂයා පියවර ගනී.
විශේෂයෙන් එක් දඬුවම් ක‍්‍රමයක් හැටියට තමන් නැසීමට තමන්ගේ සිතුවිලිම පහළ කරවීම කරයි. එබැවින් කරන කියන දේ පිළිඳව හිතට එන අදහස් අනුව තමා කටයුතු කරයි. අවසානයේ තමාගේ විනාශය ළංවී ඇති බව තමාටම වැටහේ.

ඉන්දියානු ජනතාව අදටත් “දීපාවාලී” ලෙස සමරන්නේ රාවණාව රාමගේ යටතට ගැනීමයි. ඒකත් මතක තියාගන්නකෝ.

 

සීතා පැහැර ගැනීමට පෙර

 

කුමන්ත්‍රණකාරී රටවල් ඒ සඳහා වෙනස්‌ වූ උපාය මාර්ගයක්‌ අනුගමනය කළහ. විසෙන් විස නසන්නට මෙන් විශ්වීය ජීවියකු උපයෝගී කරගෙන මහා රාවණ රජතුමා විනාශ කිරීම එම වෙනස්‌ උපක්‍රමය විය. මේ කටයුත්තට එදා ඉන්දියාව පෙරමුණ ගත්හ. ඒ සමයේ විශ්වයේ වෙනත් ග්‍රහලෝක සමඟ සම්බන්ධතා පැවැත්වීමට මිනිසුන්ට හැකියාව තිබිණි. වෙනත් ග්‍රහලෝකයකින් රාම කුමරු, ලක්‍ෂ්මන් හා සීතා කුමරිය කැඳවා ගනු ලැබුවේ මහා රාවණ රජතුමා විනාශ කර බලය ලබා ගැනීම පිණිසයි. ඒ වන විට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල පාලන බලය මහා රාවණ රජතුමා සතුව තිබිණි.

එකල ඉන්දියාවේ ජනතාව අතර ඉතා ආදර ගෞරවයට පාත්‍ර වී සිටි ශ්‍රී විෂ්ණු නම් සෘෂිවරයාණන් වහන්සේ ඉතාම මහලු වයසට පැමිණ කළුරිය කර වසර 20 ක්‌ පමණ ගත වී තිබුණි..

එය උදව් කර ගත් කුමන්ත්‍රණකරුවන් මේ ඉපද සිටින දසරථ ප්‍රාදේශීය රජුගේ පුත් රාම කුමරු විෂ්ණු නම් සෘෂිවරයාණන්ගේ ආත්මය බවත්, ජනක ප්‍රාදේශීය රජුගේ දියණිය සීතා එම සෘෂිවරයාණන්ගේ භාර්යාව වූ මහා ලක්‍ෂ්මී බවටත් පිළිගැනීමක්‌ ඇති කළහ.

එපමණක්‌ නොව ඔවුන් සමඟ පිටසක්‌වලින් පැමිණි ආරක්‍ෂක සේනාව විවිධ නම් වලින් හඳුන්වා දුන්නහ. ශ්‍රී ලංකා පාලන බලයෙන් නිදහස්‌ වීම මහා රාවණ, සක්‌විති රජතුමා ඝාතනය කිරීම සඳහා රහසිගත කුමන්ත්‍රණ වසර කිහිපයක්‌ මුළුල්ලේ දියත් කරනු ලැබූහ.

දණ්‌ඩ වනුයේ තවුස්‌දම් රකිති යෑයි ප්‍රචාරය කර රහසිගතව යුද සේනා සංවිධානය කරමින් සිටි රාමා, ලක්‍ෂ්මන්, සීතා  මෙන්න මෙතනදී තමයි අපේ රජු වන රාවනා සමග ආරවුල පටන් ගන්න මූලික හේතුව හදා ගන්නේ.. ඒ කියන්නේ සීතාව පැහැර ගැනීමට හේතු සාධක හැදෙන්නේ මෙතනින්. සීතාව පැහැර ගත්තාද? ඇයි පැහැර ගත්තේ යන්න දැන් කථා කරමු. ඒ වගේම මේ සීතා පැහැර ගැනීම සිදු උනේ කොහොමද කියන්න පහල කථා දෙකම උපයෝගි කර ගන්න වෙනවා. මේ කථා දෙකම සම්භන්ධ කරන්න හැකියාව තියන නමුත් මම ඒක කරන්න ගියොත් ඒකෙන් මම වාසියට ඉතිහාසය වෙනස් කළා වෙනවා. කථා දෙක දෙආකාරයෙන්ම ඒ විදියටම ඉදිරිපත් කරලා තියනවා. ඒ දෙක පොඩි තැනකිනුයි වෙනස් වෙන්නේ, ඒ වෙනස් වෙන තැන බළලා ඔබම ඒ දෙක සම්භන්ධ කරගන්න.

 

රාවනා රජු සීතාව පැහැර ගත්තාද? – පැහැරගත්තා නම් ඒ ඇයි? 


ලංකාපුරය මෙන්ම ඉන්දියාවේ කොටසක්ද තම පාලනයට ගෙන රජකරන රාවණ රජු, ඔහුගේ යටතේ පවතින ඉන්දියානු භූමියේ පාලන කටයුතු පවරන්නේ  මහා රාවණ රජුගේ නැන්දණිය වන “තාධකා” රැජින හා නැඟණිය වන සුපර්ණිකා කුමරියයි. සුපර්නිකා  සිය සොහොයුරාගේ නියමයන් අනුව යමින් ඉන්දියාවේ යාගහෝම කරන බමුණන් ගේ පුද පූජා වලට අවහිර කරයි. මෙහිදී බමුණන්ගේ දුක්ගැනවිල්ල මත, තත්ත්වය පාලනය සඳහා භාරතයේ දශරථ රජතුමා විසින් සිය පුතුන් දෙදෙනා වන රාම හා ලක්ෂ්මන් එවනු ලබයි. වනවාසයට ගොස් සිටින රාම හා ඔහුගේ බිරිඳ සීතා මෙන්ම ලක්ෂ්මණද දැන හෝ නොදැන බමුණන්ගේ මෙම උපක්‍රම වලට හසුවෙති. ඔවුන් සුපර්ණාකා සොයා පැමිණෙන්නේ තවුස් වෙස් ගෙනය. හින්දු සාහිත්‍යෙය් මීනාක්ෂි හෙවත් මත්ස්‍ය ඇස් ඇත්තියක ලෙස හඳුන්වන සුපර්ණිකා, අතිශය රූමත්ය. රාම යනු මහා උතුමෙක් ලෙස රාමයනයේ සඳහන් වුවද, මිනිසුන් තවමත් පුද සත්කාර කළද, සුපර්ණකා දුටු පමණින් රාම ඇයට වශී වී සීතාද අමතක කර දමන්නට තරම් සූදානම් වේ. ඔහු ස්ත්‍රීන් කෙරෙහි ලොල්වූ පුද්ගලයකු බව අපට පෙනෙන්නේ සුපර්ණකා කුමරිය මහවනයේදී මුණගැසීමත් සමඟ දක්වන හැසිරීම නිසා ය. දණ්‌ඩ වනුයේ රාම ලක්‍ෂ්මන් හා සීතා මෙහෙය වූ කැරලිකාර යුද්ධයෙන් ප්‍රතිඵලයක්‌ ලෙස මහා රාවණ රජුගේ නැන්දණිය වූ තාධාකා රැජින ද ඇගේ පුත් මරිචි කුමරු ද ප්‍රධාන සෙන්පති සුභාහුද දහස්‌ ගණන් රාජ්‍ය හමුදාව ද, මරණයට පත් වූහ.  ලක්ෂ්මණ, බමුණන්ගේ ඉගැන්වීම් මත සුපර්ණකාගේ කන් හා නාසය කපා දමන්නට තරම් සැහැසි වේ..  මෙම ගැටුම පිළිබඳ ඉන්දියාව පාලනය කළ සුපර්ණිකා කුමරිය කළ පැමිණිල්ලට අනුව එය විභාග කිරීමට භාරතයට ගිය මහා රාවණ රජතුමාට විත්තිය ලෙස ඉදිරිපත් වූයේ සීතා කුමරියයි. ඇය අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රාජ්‍යයෙහි සිර කරනු ලැබුවාය. එහිදී තමන් මෙන්ම සීතා කුමරිය ද පිටසක්‌වල ජීවියෙකු බව තේරුම් ගත් මහා රාවණ රජතුමා ඇය ගැන සොයා බැලීමේදී ඇය තම එකම ලේ ඇති සොහොයුරියක්‌ බව දැන ගත්හ. ඒ අනුව ඇයට නිදහස්‌ මාලිගයක්‌ ලබා දී එහි කාලය ගෙවීමට අවස්‌ථාව ලබා දුන්හ.

ඒ එක් කථාවකි. එයට අනුවත් රාවනා නිර්දෝශි චරිතයකි.

මේ කථාවම තවත් විදියකින් සදහන් වන ආකාරය පහලින්.

දිනක් සුපර්ණිකා කුමරිය ගෝදාවරිය නදිය අසබඩ විවේකීව සිටින මොහොතකදී රාම කුමරැ එම ස්ථානයට පැමිණ ඇත. දෙදෙනාගේ නෙත ගැටුනු අනතුරැව, රාම විසින් ඉන්දර්ජාලික බන්ධනයකින් සුපර්ණිකා කුමරියව තම වසගයට ගෙන ඇත. කාලයත් සමගම ඔවුන් පෙමිවතුන් වී ඇත. දිනපතාම සැදෑ කාලයේදී ගෝදාචරී නදිය අසභඩ මුණ ගැසෙන මොවුන් පිළිබදව දැනගත් ලක්ෂ්මණ සුපර්ණිකා පිළිබදව වෛර ඇති කර ගත්තේය.. සුපර්ණිකා කුමරිය මිනී මස් බුදින්නියක් බවත් එම නිසා කිසිදු දිනක යලි ඇය මුණ නොගැසෙන ලෙසත් රාමාට පැවසීය. එය විස්වාස කළ රාමා යලිත් සුපර්ණිකා හමුවීමට නොගියහ. දින සති ගෙවෙද්දි රාමා තමන් මුණගැසීමට නොපැමිණි නිසාවෙන් ඔහුව සොයා ඇය ඔහු වාසය කරන ස්ථානයට ගිය ඇයට දකින්නට ලැබුනේ වෙනත් ස්ත්රිකි. ඇය නමින් සීතා දේවියයි. සුපර්ණිකා කුමරිය ඇයගෙන් සිය පෙමිවතා රාමා ගැන විමසූ විට සීතා පවසා හිටියේ ඔහු ඇයගේ ස්වාමියා බවයි. ඒ හෙයින් ඔහු සුපර්ණිකාගේ පෙමිවතා වන්නේ කෙසේදැයි කියා සීතා දේවිය ඇසීය. සියලු කරැණු සුපර්ණිකා දැනගත්තේ මෙි අවස්ථාවේදිය. රාම තමාව රැවටූ බවත්, ඔහු විවාහකයෙකු බවත් ඇය දැන ගත්තේය. එම මොහොතේ වනයේ සිට පැමිණි රාම ලක්ෂ්මණ දෙදෙනා සුපර්ණිකා දැක තැතිගැන්මට ලක්විය. එකෙනෙහිම රාමා ලක්ෂ්මණට ඉගියක් කර පැවසුවේ සුපර්ණිකාව පළවා හරින ලෙසය. ඇයත් සමග දැඩි වෛරයකින් සිටි ලක්ෂ්මණ ඇයව එතැනින පළවා දැමුවේ ඇගේ නාසය කපා ඇයව විකෘති කරය.

සුපර්ණිකා හට සිදු වූ මෙම සිදුවීම දැනගත් ඇයගේ සොයුරැ රාවණා රජුන්, රාමාට සහ ලක්ෂ්මණයන්ට ස්ත්රියකගේ අගය වටහා දීම සදහා සීතාව පැහැරගෙන එනු ලැබීය. මෙය රාවාණා පිළිබදව සත්‍ය කතාවයි. අන්සතු බිරිදක් බලෙන් රැගෙන විත් තමන්ගේ අඹුව කර ගැනීමට රාවණ රජු අසත් පුරැෂයෙකු නොව ශ්රේෂ්ඨ නරපතියෙකි. ඔහු සීතාව රැගෙනවිත් වසර 12ක් වැනි දීර්ඝ කාලයක් සිර කරන් සිටියද ඇයව ස්පර්ෂ නොකළේය. රාම ලක්ෂ්මණයන් සිදුකළ මේ ක්රියාව නිසා ලංකාව හා භාරතය අතර වසර 12ක දීර්ඝ යුද්ධයක් ඇතිවිය. රාවණයන් සීතාව රැගෙන ආවේ රාමාට සහ ලක්ෂ්මණයන්ට ස්ත්රියකගේ අගය වටහා දීමට මිසක යුද්ධ කිරීමට නොව. උපතින්ම නිර්මාංස වූ රාවණයන් යුදධයකදී මිනී මරන්නේ කෙසේද. රාමා සහ ලක්ෂ්මණ පැමිණ සමාව ගත්තේ නමි සීතාව එවෙලෙහිද භාර දීමට තරමි රාවණා දැහැමි රජෙකි. මෙතැනින් තමයි යුද්ධය ආරම්භ වන්නේ. ‍යුක්‌තිය සාධාරණයෙහිලා උණුවන හදවතක්‌ මෙන්ම අයුක්‌තිය, අසාධාරණයෙහිලා තද බවක්‌ දැක්‌වූහ. ශ්‍රී ලංකාවේ දොළොස්‌ වසරක්‌ පැවතුණු රාම රාවණ යුද්ධය සීතා කුමරිය වෙනුවෙන් කළ යුද්ධයක්‌ බවට ඉංදිය කථා මගින්නො රෝපණය කර ඇති බීජයයි. නමුත්ව සීතාව සිර ගත කිරීම ඉන්දියාවට තවත් වාසියකි. මක් නිසාද එය හේතුවක් කොට ගෙන යුධ වැදීටට හැකි වීමයි.

 

සීතා හා රාවනා අතර සම්භන්ධය වෙනස්ම ආකාරයකින් සදහන් වන ආකාරය පහලින්.


මන්දෝදරී කියන්නේ රාවණයන්ගේ දේවිය. මන්දෝදරී ගැබ් ගෙන හිටියා. පුලස්ථී ඍෂිතුමා කිව්වා මධ්‍යම රාත්‍රී 12ට කලින් ඉපදුනොත් ඒ උපත ප්‍රබල උප්පත්තියක්, මධ්‍යම රාත්‍රී 12ට පසුව ඉපදුනොත් ඒ උපත ප්‍රබල නස්පැත්තියක් කියලා. මධ්‍යම රාත්‍රී 12ට කලින් උපතක් සිදු වුණා. ඒ කුමාරයෙක්. ඔහු තමයි මේඝනාධ නොහොත් ඉන්ද්‍රජිත් කුමාරයා. මධ්‍යම රාත්‍රී 12ට පසුව නැවතත් උපතක් සිදුවුණා ඒ දූ කුමාරියක්. ඇය නමින් සොහෙළි. ඍෂිතුමාගේ අනාවැකිය නිසා අකමැත්තෙන් වුනත් රාවණයන්ට සොහෙළිව සියළුම රාජ්‍ය සංකේත සහිතව මුහුදේ පාකර හැරීමට සිදු වුණා. හරියට කැලණිතිස්ස රජතුමා විහාරමහාදේවියව මුහුදට බිලිදුන්නා වගේ. සොහෙළිව පා වෙලා ගිහිල්ලා ඉන්දියාවේ ගොවියෙක්ට හම්බ වෙනවා. ගොවියා තමන්ගේ රජතුමාට සොහෙලිව භාර දෙනවා. ගොවියෙක්ට හම්බවුණ නිසා නඟුල යන අරුථ ඇතිව සීතා කියල නම තියනවා. පස්සේ රාම සහ ලක්ෂමන සුපර්ණණිකා( රාවණයන්ගේ නැගණිය) සමඟ වූ රණ්ඩුව විසදන්න රාවණයන් රාම සහ ලක්ෂ්මනව හොයාගෙන ඉන්දියාවට යනවා. නමුත් ඒ වෙලාවේ රාමවත් ලක්ෂ්මනවත් සිටියේ නෑ. ඒ වෙලාවේ එහෙ හිටියේ සීතා. සීතාව දැකල රාවණයන් සීතාව අදුරගත්තා. තොරතුරු විමසලා රාවණයන්ගේ සැකය තහවුරු කරගෙන සීතාගේ කැමැත්තෙන්මයි සීතාව ලංකාවේ ඉන්න සීතාගේ අම්මා ඇතුළු නෑදෑයෝ මුණගස්සවන්න එක්කන් එන්නේ. ඉන්දියාවේ කාටවත් කියල නෙවෙයි සීතා රාවණයන් සමඟ ලංකාවට එන්නේ. ඒ නිසා තමයි රාම එක පැහැර ගැනීමක් ලෙස සැලකුවේ.

(මෙම ඉහත කොටස ලබාදෙනු ලැබුවේ උමා අල්විස් මැතිනිය විසිනි)

 

සීතාව රාවනා භාරයට ගැනීම ඇත්තටම ශ්‍රී ලංකා රාජ්‍ය යටතේ පැවැති රටවල් දහයක පාලන බලය බිඳ හෙළමින්, මහා රාවණ රජු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණකාරී කූට ක්‍රියාමාර්ගයට ඉතාමත් රැකුලක් වූ කරැණක් විය.. එය එසේ කියන්නට හේතුව ඔබටම වැටහේවි පසුවට. සීතාව බෙරගෙන රාමා ආදරෙන් රැක ගන්නවා වෙනුවට කරන දේ අනුව ඔබටම පැහැදිලි වේවී සීතාව බේරා ගැනීමේ අරමුණින් යුද වැදුනාද? නැත්නම් අරමුන වෙනත් දෙයක්ද යන්න.

රාවනා රජු හා ඉන්දිය රාමා අතර යුද්ධය.


 

සාකච්ඡා කර ගැටළුව නිරාකරණය කරගැනීමට රාවණා දරන උත්සාහය අවසානයේදී අසාර්ථක වන්නේ, දිගින් දිගටම රාම හා ලක්ෂ්මණ බමුණන් සමඟ එක්වී යුද්ධයකට අර ඇඳීම නිසාවෙනි. බමුණන්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ රාවණා විනාශ කිරීමයි.

රාවණ රජු යුද්ධය මෙහෙය වූයේ මේ සේනාධිපතිවරුන් සමගය. ඔවුහු දක්ෂ සටන්කාමීහුය. පෞරෂවත්හුය. රාවණ රජුගේ යක්ෂ සේනාධිපතිවරු 21ක් සිට ඇත. රාවණගේ පුත‍්‍රයා වන ඉන්ද්‍රජිත් එක සේනාධිපතියෙකි. ඔහු අමාවක දිනවල ‘සහශ‍්‍රගත’ යානයේ නැගී සතුරු බිමට එනවිට අඟහරු ග‍්‍රහ ලොවෙහි ජීවින් පවා භීතියෙන් මුසපත්ව ඇත. ඒ තරම් ඉන්ද්‍රජිත් බලවත්ය.

රාම රාවණට පහර ගහන්නට අඟහරු ග‍්‍රහලොවින් උදවු ගත්තත් රාවණ අන්‍ය කිසිම සහායක් යුද්ධයට නොපැතීය. රාවණාගේ සහායට ලොව රටවල් යුද සේනා එවීමට ඉදිරිපත් විය. එහෙත් රාවණට රාමා පරාජය කිරීම සඳහා අතුරු සේනා අවශ්‍ය නොවීය. රාවණට සිදුවූයේ සටනේදී සුළු අත් වැරදීමක් පමණි.  එහි ප‍්‍රථිඵල වූයේ රාමා විෂ හීයක් රාවණ වෙත එවීමය.

මෙහිදී රාවණගේ සොයුරා වන විභීෂණ, තම සොහොයුරා සතු සියලු යුද රහස් රාමා අතට පත්කොට රාවණ පරදවාලීමට ඔහුගේ උපරිම දායකත්වය රාමාට හිමිකර දෙන්නේ රටත්, ජාතියත් මහා පාවාදීමකට ලක්කරමින්, ලංකාපුරයේ රජකම ලබා ගැනීම උදෙසාය. අමරණීයකත්වය හිමිකරගෙන සිටි රාවණා මැරීමට නම් හීය විදිය යුතු ස්ථානය පවා විභිෂණ රාමට හෙළි කරයි. එනම් අමෘතය සඟවා තැබූ රාවණාගේ නාභියයි. සියලු මර්මස්ථාන පිළිබදව තොරතුරැ දැනගන්නා ඉන්දිය රාමා, වෙනත් ග්‍රහලෝක අධිරාජ්‍යවරයකුගේ සහාය ඇතිව විශාල බල ශක්‌තියකින් පරිපූර්ණ වූ හනුමන්තාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ සහය හමුදාවක්‌ රාමා සමඟ එකතු වූහ. ලක්‍ෂ සංඛ්‍යාත යුද පිරිසක්‌ පිරිවරා තවත් රටවල් දහයකගේ සහාය ඇතිව රාම කුමරු හනුමන් සමඟ ශ්‍රී ලංකාව ආක්‍රමණය කළහ. මුළු රටම ගිනිතබා අළු කොට රාවණ රජුමතැනූ විෂ ඊතලයකින් සැඟවී විද, මහා රාවණ රජුව සිහි මුර්ජා කළහ. එනම් මෙහිදී සිදු වූයේ ඉන්දීය රාමා විභිෂනගේ උදවු ඇතිව ලංකා රජු රාවනගේම විෂ හීයක් භාවිතා කර රාවණ වෙත එවීමය. එය රාවණගේ දීර්ඝ සිහිමුර්ජාවට හේ්තුවිය. රජුගේ මරණින් පසු සටන ඉදිරියට සිදු නොවිණ.
සිහිසුන් රාවණව රැගෙන යක්ෂ සෙන්පතියෝ පිදුරුතලාගල මහකුඩුගලට ගෙන ගියහ. එහි රාවණ මාලිගයේ රජු සැතපවූහ. රාවණගේ හමුදාවේ ප‍්‍රධාන සෙන්පතියා පුත‍්‍ර ඉන්ද්‍රජිත් වේ.

යළි නැගිටි රාවණ රජු මේ සෙන්පතියන් ඒකරාශී කර ගැනීමට මන්ත‍්‍ර මිමිණූහ. විවිධ මන්ත‍්‍ර හරහා පිරිස රැස්වන බලය රාවණට තිබේ. සෙන්පතියන් කැඳවූයේ ඒ මන්ත‍්‍ර වලිනි. මළවුන් අතර සිටි සෙන්පතියන්ගේ භූත ආත්ම 21ක් රාවණ සොයා මහකුඩුගලට පැමිණියහ. මෙසේ ඒකරාශි කළ භූත ආත්ම නැවත හතේ කණ්ඩායම් තුනකට බෙදුවේය.

පෙර ලිපිවල ලියූ විභූති යක්ෂයා මේ සෙන්පතින් අතර නැත. ඔහු රාවණා සිහි මුර්ජාවෙන් සිටි සමයේ මහකුඩුගලදී ආරක්ෂා කළ අයෙකි. නමුත් අතිශය බලසම්පන්න දැනටත් රාවණ සමග සිටින සහායකයෙකි.

යුද්ධයෙන් පසු, විශාල තාක්ෂණයක් හා යුධ උපකරණ මෙන්ම දඩුමොණර නම් යානා ඇතුලත් ගුවන් හමුදාවක්ද සහිත, ශ්‍රී ලංකා රාජ්‍යයට අයත් සියලු ගුවන් යානා, නවීන පන්නයේ අවි ආයුධ මහා රාවණ රජතුමා ලිවූ ජ්‍යෙතිෂය, ආයුර්වේදය, නීතිය, විශ්වයේ තොරතුරු ඇතුළත් සියලු පත පොත ද ගෙන යා හැකි සියලු වටිනා සම්පත් ද ලංකාවෙන් පිටමං කරනු ලැබූහ. රාවණා රජු පරදවා, සීතා කුමරිය ද බේරාගෙන, විභීෂණ ලංකාපුරයේ රාජ්‍යත්වයට පත් කර ජයග්‍රාහීව ආපසු යයි.

සීතා කුමරිය බේරා ගැනීමට යුද්ධ කරන්නේ යෑයි පැවසූ රාම කුමරු ඇයගේ පති බලය ගිනි පූජාවෙන් පිළිගෙන ශ්‍රී ලාංකික කිසිවකුගේ හිරිහැරයට පත් නොවී පාරිශුද්ධ වී සිටි ඇය ගැබ් ගන්වා ඉන්දියාවේ මහා කැලයක අතහැර දැමූහ. 

 

පසුකලකදී රාමාගේ නොසැලකිල්ලෙන් සීතා හෙළකින් පහලට පැන සියදිවි නසාගන්නා අතර, ලක්ෂ්මණ ද රාමාගේ පිළිකුල් සහගත ක්‍රියා කලාපය නිසා අයෝධ්‍යාවේ සයුර නදියට පැන සියදිවි නසා ගනී. අවසානයේ රාමාද එම නදියටම පැන සියදිවි නසාගත් බව ඉතිහාසයේ සඳහන් වේ. සුපර්ණිකා පන්නා විභීෂණ ලංකාපුරයේ රජ වුවද, ඔහුගේ අවසාන කාලය දක්වාමත් මිනිසුන් ඔහු රජකු ලෙස පිළිනොගත් බව සඳහන් වේ. එහෙත් මරණින් පසු ඔහු රාම මෙන්ම දෙවිකෙනකු වීම උභතෝකෝටිකයකි. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් සටන් කල මහා රාවණ අතීතයේ වැළලී යද්දී රාම හා විභීෂණ දේවත්වයට පත්ව, අනාගතයටත් පැමිණියේ කෙසේදැයි ගැටළුවකි. එයට සැබෑ හේතුව නම් එකල සිටම අද දක්වාත්, ඉන්දියානු බලපෑමෙන් තොරව මෙරට ජනයාට හුස්ම ගැනීමටවත් නොහැකිවීම නිසා වන්නට ඇතැයි සිතිය හැකිය.

එදා සිට අපට කෙනෙහෙලි කම් කළ ඉන්දියාව සමග පාරම්පරිකව අපගේ ලේ වල ඇති  වෛරයම අද ක්‍රිකට් තුලින් ද  නිරායාසයෙන්ම ඉස්මතු වේ.

 

රාවණයන්ගේ සැබෑව විකෘති කර ඇත්තේ වාල්මිකී ලෙස ව්‍යාජ නමක් ගත් රත්නකාර කියන හොරදෙටුවාය. ඔහු විසින් රාමායණය කියනා කවිය සකස් කොට රාමාගේ දරැවන් වන කුශ සහ ලව හට උගන්වනු ලැබුවා.අදටත් අප දන්නේ වාල්මිකී විසින් සකස් කළ රාමායණය මිසක සැබෑ කතාව නොවේ. … කෙසේ නමුත් ලිපි ගණනාවක් එකතු කර සම්පුර්ණ ලිපියක් ලිවීමේ අරමුණ නම් රාවනා යන රජු ගෑණු හොරෙක්ඔ නොව ධාර්මික බුද්ධිමත් ලොවම ජය ගත් රජෙක් බවට දැනගැන්වීමට සැළැස්වීමය. මේ පිළිබදව වාද කිරීම පළක් නැත. අප කිසිවෙක් එකල සිදු වූ සියල්ල දන්නේ නැත. එබැවින් අපි සියල්ල එක්ව එකල තොරතුරැ සොයා ලෝකයට හෙළි කළ යුතුව ඇත. බොරැ හෝ ඇත්ත වේවා මේ සියල්ල කටින් කට පැවත ආ කථා හා විවිධ මූලාශ්‍ර මත ගොඩ නැගුනූ ඒවා වේ. එබැවින් මා මේ පිළිබදව කිසිදු වගකීමක් දරන්නේ නැත. මා කරැණු සපයා ගත් වෙබ් අඩවි ලිපිණ පහත දක්වා ඇත. ඒවායේ ඇති කරැණු එක පෙළට සකසා හිඩැස් සහිතව තිබු කථාව අංග සම්පූර්ණ කිරීම පමනක් මා කර ඇති බව දැණුම් දෙමි.

 

උපුටාගැනීම් –
http://www.divaina.com/2014/06/04/badada02.html
http://www.lankadeepa.lk/features/%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F-%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%96-%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B7%82-%E0%B7%84%E0%B7%93%E0%B6%BA/2-258535
https://si.wikipedia.org/wiki/රාවණා_රජ
http://lankabhimanee.blogspot.com/2016/01/blog-post.html
http://helasuraorg.blogspot.com/2012/09/blog-post_1738.html