ගණදෙවි උපත නොහොත් ගණ දෙවි උත්පත්ති කථාව (උප්පත්ති කථාව)

 

ඊශ්වර (ශිව) දෙවියන්ගේ සහ උමයංගනාවගේ පුත්‍රයා ලෙසත්, ස්‌කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන්ගේ මලනුවන් ලෙසත්, සැලකෙන ගණ දෙවිඳුන් ඊශ්වර දෙවියන්ගේ සේවක දේව සමූහයාගේ නායකයා ලෙස සැලකේ. මේ ගණ දෙවියන් පිළිබද තොරතුරැ රාශියක එකතුවකි.

ඊශ්වර දෙවියන්ගේ දිවැසින් දුටු කරැණක් මත උමයංගනා දේවියට පුන්ඩ්‍ය වෘතය සමාදන් වන්න යැයි පවසයි. විෂ්ණු දෙවියන්ට භක්‌ති ප්‍රණාමය දක්‌වන විශේෂී ධ්‍යානයක්‌ වන පුණ්‌ඩ්‍යවෘතය සමාදන්ව සිටි උමයංගනා දේවිය පසුව විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය මත දරැ සුරතල් බැලූ බවත්. ඒ දරැවා ගණ දෙවියන් බවත් එක් කථාවක සදහන් වේ.

උමයංගනාව ස්‌නානය පිණිස තෙල් බෙහෙත් රැගෙන ගංගානම් නදියට ගොස්‌ ස්‌නානය කරන විට ශරීරයෙන් පිටවන අපිරිසිදු දැ ගෙන ඉන් මිනිස්‌ සිරුරක්‌ තැනූ බවත්, එහි හිසතැනුවේ ඇත්හිසක ආකාරයෙන් බවත් ගංගානම් ගඟෙන් දියගෙන මෙම සිරුරට ජීව ප්‍රාණය දුන් බවත් ගණදෙවි උපත් කතාවල සඳහන් වේ.

පුරාණ ගණදෙවි උපත් කතාවල විවිධ මත පවතී.


01 කථාව

සෙනසුරු විසින් ගණදෙවිඳුන්ට ඇත්හිසක්‌ සවිකරන ලද බවත් එම ඇත්හිසෙහි තිබූ දළ දෙකෙන් එකක්‌ මහාභාරතය ලිවීම සඳහා ව්‍යාසට දුන් බවත් අනෙක්‌ දළ ගණදෙවියන් විසින් ස්‌කන්ධ කුමාර සමඟ ඇතිකරගත් කලහකාරී අවස්‌ථාවකදී බිඳීගිය බවත් ඇතැම් දේව කතාවල සඳහන් වේ.

02 කථාව

ඇතැම් දේව කතාවල සඳහන් වන ආකාරයට ගණදෙවියන්ට උපතින්ම ලැබුණ ගණදෙවි ශීර්ෂය එක්‌තරා යුදමය අවස්‌ථාවකදී අහිමිවූ බවත් එහිදී එම අහිමි වූ ශීර්ෂය වෙනුවට ඇතෙකුගේ හිසක්‌ බද්ධ කිරීම නිසා ගණදෙවියන්ට මෙම රූපකාය ඇතිවුණ බවත් පැවැසේ.

03 කථාව

එහෙත් ගණදෙවි හෑල්ලේ ඇති පහත පද්‍යයෙන් කියවෙන ආකාරයට ගණදෙවියන්ට ඇත්හිස ලැබී ඇත්තේ උපතින්ම බව පෙනේ

දෙව්රුවක්‌ තනමි නා

සොඬ තළුද මුකත නා

ඉස ඔටුනු දරමි නා

ගජතෙකුගෙ හිසමෙ නා

 

04 කථාව

මත්ස්‍ය පුරාණයෙහි ගණ දෙවියන් පිළිබඳව රසවත් කතාවක්‌ පවතී.

ගණදෙවියන්ගේ මවු පදවිය ලැබූ උමයංගනාව අතිශය රූමත් දෙවඟනිකි. දරු සම්පත් නොලැබීම හේතුවෙන් දැඩි කම්පාවට පත්ව සිටි උමයංගනාව ඊශ්වර දෙවියන් ධ්‍යානයෙන් මිදී කෙළිදෙලෙන් සිටි අවස්‌ථාවක ශෝකයෙන් කම්පාවට පත්විය. ඊශ්වර තුන්කල් දිවැස්‌ හෙළන්නේ උමයංගනාව පුතුන් දෙදෙනකු ලැබ සියලු දේව සමූහයාට නායකත්වය දෙන බවත් දැන උමයංගනාව කැඳවා ඇයව සනසවා ඇයට පුණ්‌ඩ්‍යවෘතය සමාදන් වන ලෙසට දන්වයි. විෂ්ණු දෙවියන්ට භක්‌ති ප්‍රණාමය දක්‌වන විශේෂී ධ්‍යානයක්‌ වන පුණ්‌ඩ්‍යවෘතය සමාදන් වීමට ඇයට දන්වන්නේ පුතුන් ලබාගැනීමේ වරම ඇය ලබාගත යුත්තේ විෂ්ණු දෙවිඳුන් ගෙන් බැව් ඊශ්වර දිවැසින් දුටු හෙයිනි.

මහත් ප්‍රීතියට පත්වන උමයංගනාව පුණ්‌ඩ්‍යවෘතය සමාදන්වීම අරඹා තෘෂ්ණා වේශයෙන් සිටි විෂ්ණු දෙවියන්ට ගෞරව දක්‌වමින් දරුඵල ලබාදෙන ලෙස අයෑද සිටියාය. විෂ්ණුගෙන් දරුඵල ලබා ගැනීමට ආශිර්වාද ලැබූ උමයංගනාව සිය අසපුව වෙත ගොස්‌ සයනාරූඪව සිටිවෙලේ ඇයට සුරතල් කුමරෙකු සිනාසෙමින් සිටින අයුරු දක්‌නට ලැබුණාය. එයින් මහත් සතුටට පත් උමයංගනාව විෂ්ණු දෙවියන්ට ස්‌තුති පූජාකොට තම සැමියන් වන ඊශ්වර දෙවියන් වෙත දිව ගියාය. එසේ ගොස්‌ ඊශ්වරට මේ පුවත දැන්වූවාය.

මෙසේ ඊශ්වරට සහ උමයංගනාවට දරු සම්පතක්‌ ලද බවට දත් අනේක විධ දිව්‍ය සමූහයා නොයෙක්‌ වස්‌තූන්ද රැගෙන කෛලාස කූටයට පැමිණි බවත් ඒ සමඟ පැමිණි සෙනසුරුගේ බැල්මෙන් කුමරාගේ හිස කඳින් වෙන්ව විදුලි වේගයෙන් අහසට පැන නැඟ විෂ්ණු දෙවිඳුන්ගේ වාසභවනය වූ වෛකුණ්‌ඨ පර්වතය වටා හත් වළල්ලක්‌ කැරකැවී හිමාල වනයට ඇදවැටුණ බව පැවැසේ. මේ බව දත් විෂ්ණු දෙවිඳුන් ගුරුළු වාහනාරූඪව කුමරාට ජීවය දීමේ අරමුණින් කුමරාගේ හිස සොයාගැනීමට වෙහෙසුණත් සොයාගත නොහැකිව පුෂ්පභද්‍රනදී තීරයේ සිටි හස්‌තියෙකුගේ හිස ගෙනවිත් කුමරාගේ හිසසුන් කඳට බද්ධ කළ බවත් ඇත් හිසක්‌ සහිතව ගණදෙවිඳුන්ගේ සිරුර මෙලෙසින් නිර්මාණය වූ බව මත්ස්‍ය පුරාණයෙහි සඳහන් වේ.

 

05 කථාව

තම සහෝදරයා වන කතරගම දෙවිදුන්ට වල්ලි අම්මා දේවියගේ සිත ගැනීම උදෙසා, යෙදූ උපාය වැරදීම නිසා, නැවත මිනිස් ස්වරෑපය ගන්නට ඉසිය යුතු පැන් ඇගට පමනක් ඉසීම හේතුවෙන්  හා මුහුනට ඉසින්න්නට බැරිවීම හේතුවෙන් ඇතෙකුගේ ස්වරෑපය මුහුනේ ඉතිරි වී ඇති බව කියවේ. එය තවත් රසවත් කථාවක් බැවින් එය පසු ලිපියකින් පවසන්නට බළාපොරොත්තු වෙමි.

06 කථාව

ගණ දෙවියන් හෙවත් පුල්ලෙයාරේට ඇත් මුහුණක් ලැබීම පිළිබදව ජනප්‍රිය ජනප්‍රවාද දෙකක් තිබේ. පවුලේ බාල සහෝදරයා වන පුල්ලෙයාර් දිනක් කිසියම් ගමනක් යනවිට මුහුණ සළුවකින් වසාගත් සුරූපී කාන්තාවක් ගමන් කරුනු දැක ඇය විවාහ කර ගැනීමේ අදහසක් පහළ වී ඇත. එම කාන්තාව එනතුරු සැගවී බලා සිටි ඔහු ඒ තමන්ගේ මෑණියන් බව දැනගෙන ලැජ්ජාවට පත් වී ඇත. මේ බව ඊශ්වර තමාගේ ප්‍රාතිහාර්ය ඥානයෙන් දැනගෙන ගණපතිගේ හිස කදින් වෙන් කොට ඇත. වරදක් කළත් ඒ තමාගේ දරුවා නොවේදැයි සිතා ඇතෙකුගේ හිසක් කපා ගෙනැවිත් ගණපතිගේ කදට සවිකොට මං මාවතක් අසල ගසක් මුල තබා ඇත. එදා සිට ඔහු මංමාවත් අද්දර මංසන්ධිවල අම්මා වගේ රූමත් කතක් එනතුරු බලා සිටින්නේ යැයි විශ්වාස කෙරේ. ඒ බවට දෙස් දෙන කෝල්මුර කවියක් මෙසේය.

මංමාවත් රැකගෙන ඉන්නේ
මං මේ ලෙස දැන් වැද පවසන්නේ
අම්මාගෙන් උඹ විවරණ ගන්නේ
අම්මා වාගේ කෙනෙක් සොයන්නේ

 

 

ගණ දෙවියන්ගේ වෙනත් නම්.


අනෙක්‌ දෙවිවරුන් මෙන් නොව ගණදෙවියන් හඳුන්වනු ලබන පර්යාය නාමයන් රාශියකි. ගණපති, පුල්ලෙයාර්, විනයාගර්, ඒකදන්තන්, ලම්බෝදරන්, ගණදීපන්, චක්‍රකුණ්‌ඩන්, හෙරමිබන්, විග්නරාජා, පුල්ලෙයාර් අප්පා, ආරිවුරම්, සිත්තිධානා යනුවෙන් හඳුන්වන බව විජය ශ්‍රී ජයසිංහ මහතාගේ හෙළබිම පුද ලබන දෙවිවරු කෘතියෙහි සඳහන් වේ.

ගණදෙවියන් හඳුන්වනු ලබන පර්යාය නාම මෙන්ම ගණදෙවියන් ලොව පහළ වන මූහුර්ති රාශියක්‌ද වේ. මහාගණේෂ, වල්ලභ ගණේෂ, බාල ගණේෂ, වීරගණේෂ, හේරම්භ ගණේෂ, ධරණි ගණේෂ ආදී වශයෙනි. මහා ගණේෂ යනුවෙන් ලොව පහළවන ගණපති දෙවිඳුන් ජ්‍යෝතිෂ්‍ය, ගුප්ත විද්‍යාව යන්ත්‍ර මන්ත්‍ර කාර්ය සිද්ධි පහලකරවන අතර කොඩිවින අනවින හදි හූනියම් වස්‌දොස්‌ බන්ධන ඇස්‌වහ කටවහ දුරුකරන බවද පැවැසේ.

 

(විජය ශ්‍රී ජයසිංහ හෙළබිම පුද ලබන දෙවිවරු) මයුරා පුරයෙහි විසූ ගණදෙවියන් බුදුන් කුසිනාරා නුවර මල්ලරජ දරුවන්ගේ සල් උයනේ පිරිනිවන් මංචකයේ වැඩසිටි වේලේ පොලෝතලය තුන්වරක්‌ කම්පාවුනු මොහොතේ ඒ මන්දැයි සොයා බැලූ ගණ දෙවියෝ සම්බුද්ධ පරිනිර්වාණයට කාලය එළඹ ඇතැයි දැන මහත් සේ ශෝකයට පත්ව මල්ලරජ දරුවන්ගේ සල් උයනට ගොස්‌ බුදුරදුන්ට වැඳ එකක්‌ පස්‌ව සිටියහ. එම අවස්‌ථාවේ ගණදෙවියන්ට ශෝක නොවන ලෙස වදාළ බුදුන් අනාගතයේ ලක්‌දිව බුදු දහමේ කේන්ද්‍රස්‌ථානය වන බවත් ධර්මයත් ධාර්මික ජනතාවත් සුරකින ලෙසත් ගණදෙවිඳුන් අමතා වදාළහ.

එබස්‌ ඇසූ ගණදෙවිඳුන් දේවතාවන් පස්‌දෙනෙක්‌ සහ දෙමළ යකුන් දසදෙනෙක්‌ද පිරිවරාගෙන ගල් නැවක නැඟී ලංකාවේ යාපා පටුනට ගොඩ බැස්‌ස බැව් පැවැසේ. බොහෝ ඈත අතීතයේ පටන් ගණදෙවියන් සිටින අතර ලංකාරක්‍ෂක දෙවිකෙනකු ලෙස ගණ දෙවියන් වැඩ සිටින බැව් ලංකාතිලක ශිලා ලේඛනවලද සඳහන් වේ.

 

ගණ දෙවිදුන්ගේ ණුවන පිළිබදව තවත් ජනප්‍රවදයක්


කතරගම හෙවත් ස්කන්ධ කුමාරයා හා ගණ දෙවියන් යන සහහෝදරයන් දෙදෙනාගෙන් ඥානවන්තයා කවුරුදැයි විමසීම පිණිස උමයංගනාව දිනක් අපූරු පර්යේෂණයක් කර තිබේ. ඔවුන් දෙදෙනා ළගට කැදවා හැකි ඉක්මනින් කරදිය වළල්ල වටේ හත් වරක් ගමන් කොට ඒමට කියා තිබේ. මෙම අභියෝගය ස්කන්ධ සහ ගණ යන සහොදරයන් දෙදෙනා විසින් පිළිගෙන ඇත. ඒ අනූව ස්කන්ධ කුමාරයා ලංකාද්වීපය වටා හත්වාරයක් ගමන් කරන්නට පටන් ගෙන තිබේ. ගණදෙවියා ඒ අතර කුස්සියට ගොස් ලුණූ පොල්කටුව වටා හත්වතාවක් ගමන් කොට මව වෙත පැමිණ තිබේ. පසුව මේ ගැන විමසීමේ දී තම දරුවන් දෙදෙනාගෙන් ගණ ස්කන්ධට වඩා ඥානවන්ත බව පිළිගෙන එතැන් සිට ඔහු නුවණට අධිපති දේවතාවා වශයෙන් සළකන්නට පටන් ගෙන තිබේ.

ඉහත සදහන් සංසිද්ධි විමර්ශනාත්මකව බැලීමේදී ප්‍රකට වන කරුණක් වන්නේ ජනශ්‍රැතිකාංගයක් වන ජනප්‍රවාද දෙවිවරු සම්බන්ධව නිර්මාණය වීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටුනර තිබෙන බවය. සෑම දේව පුරා වෘත්තයකම මෙවැනි ජනප්‍රවාද නිර්මාණය වී ඇතැයි පැවසීම සාවද්‍ය නොවන්නේය.
එඑඑ

 


උපුටාගැනීම්
divaina.com
buwanekabayouth.blogspot.com/2015/10/blog-post_19.html