හනුමාන් දෙවියන්ගේ උත්පත්ති කථාව

තරමක් ෙම්වා ගැන දන්නා උදවිය නම් දන්නවා හනුමා කියන්නේ හින්දූන් ගෞරවයන් වන්දනා කරන වානර සිරුරක් තියෙන දෙවියක් බව. ඒ හැරැනු විට ලංකාවේ හිටිය රාවණා රජතුමා එක්ක යුද්ධ කරපු රාම කුමාරයාගේ කතාව දන්නා අය හා අසා අැති අයටත් මතක ඇති ඒකේ රාම කුමාරයාට උදව් කරන වඳුරු නායකයාගේ නම හනුමන්තා බව.

රාම රාවණා යුද්ධයේදී රාමගේ සොයුරු ලක්ෂ්මණ රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත්ගේ පහරකින් සිහිය නැතුව ඉද්දී ඒකට ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෙන ඖෂධයක් ගේන්න හිමාලයට ගිහින් හිමාලයේ කොටසක් කඩාගෙන හනුමා ලංකාවට ගෙනාපු බවත් ඒ කොටස රූමස්සල කියන කතාව දන්න උදවියත් ඇති

එකී මෙකී නොකී හුඟක් ආකාරවලින් අහපු හනුමා ගැන ඇහුවත් හනුමා ඉපදුණු විදිහ වගේම රාම කුමාරයා එක්ක එකතු වුණු විදිහත්, ඒ වගේමයි රාම රාවණා යුද්ධයෙන් පස්සේ හනුමාට මොකක්ද වුණේ කියන එක දන්න උදවිය හරි අඩුයි කියලයි මගේ හැඟීම. ඉතින් ඒ අඩුව පුරවන්න තමා මේ වෑයම.

හින්දු දහමේ මූලික දේව ත්‍රිත්වය එහෙමත් නැත්නම් ත්‍රිමූර්තියෙන් විනාශ කිරීමේ කාර්යය පවරලා තියෙන්නේ ශිව එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ට. ශිව දෙවියන්ගේ පියා තමා මහා බ්‍රහ්මයා. ශිවගේ බිරිඳ තමා පාර්වතී. මේ යුවළගේ දරුවන් තමා ගණ සහ ස්කන්ධ [කතරගම]

මේ ශිව දෙවියන්ගේ ස්වරූප කීපයක් තියෙනවා [හරියට විෂ්ණු දෙවියන්ගේ අවතාර තියෙනවා වගේ] එක ස්වරූපයක් තමා භාවනානුයෝගීව ඉන්න ස්වරූපේ. තව ස්වරූපයක් තමා නර්තන ඉරියව්වෙන් ඉන්න නටරාජා ස්වරූපය [නටරාජ් කවකටු පෙට්ටියේ තියෙන්නේ ඒ රූපේ තමා] ඉතින් ඒක නිසා කලාවට සරස්වතී දේවිය අධිපති වුණාට නර්තනය අධිපති වෙන්නේ ශිව දෙවියන්.

ඒත් නර්තනයට අධිපති ශිව දෙවියන්ව වුණත් නර්තනයෙන් මෝහනය කරන්න පුලුවන් මෝහිනී කියලා දිව්‍ය අප්සරාවක් හිටියා. දවසක් මෝහිනීගේ නර්තනයෙන් මෝහනය වෙලා හිටිය ශිව කැමති වරයක් ඉල්ලන්න කියලා කිව්වා [රාවණා රජතුමා පවා බලවත් උණේ ශිව දෙවියන්ගේ වරයක් ලැබිලා] ඉතින් හම්බුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුව මෝහිනී දිව්‍ය අප්සරාව ශිවගේ ශුද්ධ වූ ප්‍රජනන ශක්තියෙන් අංශුවක් ඉල්ලනවා.

වරය ඉටු කරන්න ශිව තමාගේ ශුක්‍ර ධාතුවක් මෝහිනීට දෙනවා [දැන් අනම් මනම් ප්‍රශ්න අහන්න එපා ඕන්] මෝහිනී දිව්‍ය අප්සරාව තමන්ට හම්බුණු මේ වටිනා කියන වස්තුව තමන්ගේ හොඳම මිතුරෙක් වුණු සුළඟට අධිපති වුණු වායු හෙවත් මාරුත දෙවියන්ට ලබා දෙනවා.

වායු දෙවියන් අංජානි කියල විවාහක වැඳිරියක් එක්ක ඒ කාලේ සම්බන්ධයක් පැවැත්වුවා. අංජානි කියන්නේ ඇත්තටම දිව්‍ය අප්සරාවක්. ඒත් ශාපයක් නිසා ඇය වැඳිරියක් වෙලා හිටියේ. කේසරී කියන වඳුරා එක්ක විවාහ වෙලා හිටිය අංජානි වැඳිරියට දරුවෝ හිටියෝ නැහැ. ශිවගේ ශුක්‍ර ධාතුවෙන් ඇයගේ ප්‍රශ්නේ විසඳන්න පුලුවන් කියලා හිතපු වායු දෙවියෝ කඳු මුදුනකට වෙලා ශිව දෙවියන් නමස්කාර කරමින් හිටිය අංජානිගේ කනෙන් රිංහලා ශිවගේ ශුක්‍ර ධාතුව අංජානිගේ ගර්භාෂයේ තැන්පත් කරනවා.

අංජානිගේ කුසේ දරු ගැබක් හටගෙන ඒක වර්ධනය වෙද්දී ඒක දිවැසින් දැක්ක ශිව දෙවියෝ දේව සභාවේදී අංජානිගේ කුසේ ඉන්නේ තමන්ගේ දරුවෙක් කියලා ප්‍රකාශ කරනවා.

කල් ගත වුණාට පස්සේ අංජානි තමන්ගේ පුත්‍රයාව බිහි කරනවා. අංජානිගේ පුතා නිසා “අංජානි සුත” සහ “අංජනේය” කියන නම් හිමිවෙනවා. ඒ වගේමයි මේ පුතාට තාත්තලා තුන් දෙනෙක් ඉන්න නිසා තාත්තලා නිසාත් වෙන වෙන නම් හිමිවෙනවා.

අංජානිගේ ස්වාමියා වුණේ කේසරී නිසා කේසරීගේ පුත්‍රයා කියන අර්ථයෙන් “කේසරී නන්දන” කියන නමත් අංජානිගේ ගර්භාෂයේ ශිවගේ ශුක්‍ර ධාතුව තැන්පත් කළේ වායු දෙවියෝ නිසා වායු දෙවියන්ගේ පුත්‍රයා කියන අර්ථයෙන් “වායු පුත්‍ර, පවත් පුත්‍ර, මරුති” කියන නම් කීපයත් ශිවගේ ශුක්‍ර ධාතුවෙන් උපන් නිසා ශිවගේ පුත්‍රයා කියන අර්ථයෙන් “රෞද්‍රේය” කියන නමත් හිමිවෙනවා. විශාල හනුවක් තිබුණු නිසා “හනුමත්/ හනුමාන්” කියන නමත් භාවිතා කරනවා.

මේ හැරෙන්න හනුමාන් කියන්නේ ශිවගේම අවතාරයක් කියන මතයත් ජනප්‍රියයි. ඒ වගේමයි අයෝධ්‍යාවේ දශරථ රජතුමාගේ බිසෝවරුන්ට දරුවන් නැති නිසා යාගයක් පවත්වද්දී එහි ගින්නෙන් පහළ වුණු පුරුෂයෙක් දීපු ආහාරයක් නිසා බිසෝවරුන් ගැබ් ගන්නවා. ඒ ආහාරයෙන් කොටසක් වායු දෙවියන් අංජානිට ගෙනත් දීලා ඒ නිසා ඇය ගැබ් අරගෙන හනුමාන් බිහි කළා කියලත් මතයක් තිබෙනවා.