මංගර දෙවියන්ගේ උත්පත්ති / උප්පත්ති කථාව.

(සිංහල දේව පුරාණය)

මෙතෙමේගේ තවත් උපන් කතාවකට අනුව මංගර කුමරු බිසවකගේ පියයුරු දෙමැදින් උප්පත්තිය ලද බව කියවේ.

මායාරට විසූ කිතල්වල රජුට බිසවුන් සත්දෙනකු සිටියහ. එම බිසෝවරු සත්දෙනාගෙන් එක්‌ බිසොවක්‌ දිය නෑම පිණිස හුදෙකලාවම අසල පිහිටි විලකට ගියාය. විලේ දිය නෑ බිසව ආපසු පැමිණ රාත්‍රියේ නිදි යහනට ගිය පසු අපූරු සිහින තුනක්‌ දුටුවාය. පළමු සිහිනයෙන් දැවැන්ත නාගයෙකු දුටු බිසව, දෙවැනි සිහිනයෙන් අගනා මැණිකක්‌ද, තුන්වන සිහිනයෙන් ඇය රනින් නිම කළ ඔටුන්නක්‌” හිස පැළඳ සිටිනුද දුටුවාය. මෙම සිහින විමසූ නැකත් කරුවන්ගේ මතය වූයේ බිසව බලසම්පන්න කුමරෙකු ලබන බවයි. තවත් උපන් කතාවට අනුව මංගර කුමරු නාග පෙනයෙන්, පන්හිඳෙන් ගිනිදළුයෙන්, මාණඛ්‍යයෙන් හිරුරැස්‌ වළල්ලෙන් මවු කුසින් දෙපියුරු මැදින් ආදී වශයෙන් සත්වාරයක්‌ උපන් බව සිංහල දේවපුරාණයේ පැවැසේ.

මෙතෙමේ සිය ආත්ම භාවයන් අතර දහතුන්වන ආත්ම භාවයකදී ඉන්දියාවේ දකුණු වෙරළබඩ ප්‍රාන්ත රජෙකුගේ රාජුත්‍රයෙකුව උප්පත්තිය ලබන බවද එසේ උප්පත්තිය ලබන මංගර කුමරු සැහැසි ගති පැවැතුම් ඇත්තෙක්‌ වන අතර රජුට එපා වන මොහු පිරිසක්‌ සමග රටින් පිටුවහල් කරන බවද පැවසේ. මෙසේ ලක්‌දිවට පැමිණෙන මංගර කුමරු රුහුණු රට පෙදෙසේ කලක්‌ සිට බිංතැන්නට පැමිණෙන බවද, එහිදී බණ්‌ඩාර පිරිසක්‌ද කැටුව බලවතෙකුව සිටින බවද පැවැසේ. මංගර දෙවියන්ගේ රූප කතරගම වැඩසිටි කන්දේ ද බේරුවල සූනියම් දේවාලයේද උඩුනුවර ඇම්බැක්‌ක දේවාලයට ආසන්න වෙලම්බඩ කන්දේ දේවාලයේද පවතී.

පාලි මංගර, දෝලී මංගර, කහමංගර, කිරි මංගර

තෙද මංගර, උණ මංගර, යන නම් වලින්ද හඳුන්වනු ලබන මංගර දෙවියන් සාමය පතුරුවන සාමයට ලැදි දෙවියෙකු ලෙසද මතු බුදු බව ප්‍රාර්ථනා කරනු ලබන දෙවියෙකු ලෙසද ජනවහරේ පවතී.

සබරගමු නර්තන සම්ප්‍රදායේ පවතින කිරි මඩුව මෙන්ම මේ වන විට අභාවයට යමින් පවතින මංගර මඩුවද විශේෂයෙන් ගව සම්පත ආරක්‍ෂා කර ගැනීමත් ගවම්පත වර්ධනය කර ගැනීම සඳහාත් කෘෂිකාර්මික භව භෝග සම්පත් ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධවත් පවත්වනු ලැබූ ශාන්ති කර්මයකි. කිරිමඩුව ශාන්ති කර්මයේදී මෙන්ම මංගර මඩුව පවත්වනු ලබන්නේද කප්සිටුවා නියමිත දින වකවානු යොදා ගැනීමෙනි. මංගර මඩුවේදීද මංගල දවුල්වාදන පවත්වා දෙවියන්ට නමස්‌කාර කිරීමක්‌, මංගරදෙවි කෝල්මුර කවිගායනා ඇතුළුව නර්තනාංග රැසක්‌ මෙහිදී සිදු කෙරේ. විශේෂයෙන් සිවුවරම් දෙවියන් ඇතුළුව විෂ්ණු, කතරගම, නාථ දෙවිවරු සමූහයකට මෙහිදී ආරාධනා කෙරේ. මංගර මඩුව මේ වන විට පවත්වනු දක්‌නට ලබන්නේ කලාතුරකිනි.