කම්බිලි දෙවියන්ගේ උත්පත්ති කථාව

පණ්‌ඩුකාභය රාජ්‍ය සමයේ විසුවා යෑයි පැවසෙන ෙච්තිය නම් යකිණියගේ කුස උපන් කම්බිලි තුන්කට්‌ටුවකි. පළමුවැන්නා කළුකම්බිලි නම් ලද අතර දෙවැන්නා සැඩකම්බිලිය. තුන්වැන්නා රත්න කම්බිලි යනුවෙන් නම් ලැබීය. කළුකම්බිලි තද කළු පැහැයෙන් යුතු වූ අතර, සැඩකම්බිලි මඳක්‌ කහ පැහැයෙන් යුතු විය. රත්න කම්බිලි රන්වන් පාටින් යුතු වූවෙකි.

https://youtu.be/meJVbLixT4I

පණ්‌ඩුකාභය අනුරපුර රජ පැමිණි සමයේ ෙච්තිය බැමිණිය දුම්රක්‌ගල ප්‍රදේශයේ විසූ බවත්, ඇය වෙළඹකගේ වේෂයෙන් සිටි අතර පණ්‌ඩුකාභය රජු එවක රටේ පැවැති යුද සටන් සඳහා මෙම වෙළඹ පිටින් ගමන් කළ බවත් ඒ ගිය සෑම සටනක්‌ම ජයග්‍රහණය කළ බවත් පැවැසේ. වෙළඹකගේ වෙස්‌ ගෙන සිටි ෙච්තිය යක්‍ෂණිය පණ්‌ඩුකාභය කුමරාට වසඟ වී සිටි බවත් කාලයාගේ ඇවෑමෙන් ෙච්තිය යක්‍ෂණිය මෙම කම්බිලි කුමරුන් තිදෙනා බිහිකළ බැව් පුරා වෘත්තයේ පැවසේ.

වෙළඹ වේසක යකිනිගෙ පිට නගිමි න

නිලඹ රුවින් රජ යුදයට ගිය තැ න

එළඹ ගිය වු යකිනිගෙ ආධාරෙ න

කළඹ දකින හැම යුධයෙන් ජය ගෙ න

මෙසේ කල් පසුව ගිය යකිනියගෙ කුස

විසේසයෙන් මෝරා ගැබ එක ලෙස

රසේ සැපත් විඳ ගිය පසු දස මස

යසේ කුමරු තිදෙනෙක්‌ බිහිවිය තොස

කම්බිලි උපත පිළිබඳව ජන ප්‍රවාද කීපයක්‌ ම පවතී, මලය දේශයේ සිට කළුතර වෙරළින් මෙලකට පැමිණි පස්‌ දේවතාවුන්ගෙන් එක්‌ අයෙකු ලෙස ද කම්බිලි දේවතාවා හැඳින්වේ. කම්බිලි දේවතාවා වීරවිකුම් රත්න බණ්‌ඩාර, කම්බිලි කුමාර යන නම් වලින් ද හඳුන්වා ඇත. කම්බිලි දෙවියන් ගල් නැවකින් මෙලකට පැමිණ සෙල්ලම්දූව පසුකර අනුරාධපුරයට විත් ශ්‍රී මහා බෝධිය අසල ජයභූමියේ වැඩ සිටි බව ද පැවැසේ.

කම්බිලි උන්නැහේ යනුවෙන් ද හඳුන්වනු ලබන කම්බිලි දෙවියන්ගේ උපත දඹදිව සිදු වූවක්‌ බව ද පැවැසේ. සැඩ පරුෂ තැනැත්තෙක්‌ වූ මෙතෙමේ එරටින් පිටුවහල් කරන ලද බව ද මෙරටට ගොඩබසින ලද කම්බිලිගේ පැමිණීම වැළැක්‌විය නොහැකි බැවින් මෙරට ආරක්‍ෂා කිරීමේ නිරතව සිටින දෙවිවරුන් පුදපෙත් දීමට පොරොන්දු වූ බව ද කම්බිලි කවි ගායනාවල සඳහන් වේ.

එලුවා ගල්යකදාවෙන් මුහුද දෙබෑ කොට

බැලුවා දෙවියෝ දුවගෙන ඇවිදින් පස්‌ සට

එනවා නියමයි රකින්ඩ බැරි තිර සාරෙ ට

දෙනවා නියමයි වා ලක්‌කම් නුඹෙ නාමෙ ට

(සි. දේ. පු)

කම්බිලි දේවතාවන්ට පුද පෙත් දීම විශේෂයෙන් දක්‌නට ලැබෙන්නේ වයඹ පළාතේ පුත්තලම දිස්‌ත්‍රික්‌කයේත්, උතුරු මැද පළාතෙත් බව මුදියන්සේ දිසානායක මහතා විසින් රචිත වන්නියේ දෙවි දේවතා සම්භවය හා ව්‍යාප්තිය ග්‍රන්ථයේ සඳහන් වේ. පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ එනම් ක්‍රි. ව. 1247 පමණේදී වීරභාහු, විජයභාහු, කුමාරවරුන් රාජ්‍ය කටයුතු කරමින් සිටියදී ජා රජ කෙනෙක්‌ වූ චJද්‍රභානු නමැත්තා යාපහුව ප්‍රදේශය ආක්‍රමණය කිරීමේදී මියගිය බවත් එසේ මියගිය චJද්‍රභානු කම්බිලි යනුවෙන් හැඳින්වුණ බව ද පැවැසේ.

කනදරාවේ සිට කිරි මුහුද හරහා ලංකාවේ යාපා පටුනට ගොඩ බැස්‌සේ යෑයි පැවැසෙන කළුකම්බිලි, කන්ද කුමාර, උපුල්වන් සහ විභීෂණ දෙවිවරුන්ගෙන් වරම් ලැබූ බව ද පැවැසේ. මෙතෙමෙගේ වාහනය අශ්වයකු වන අතර, කඩුවක්‌ අත දරයි. කලා ඔයත්, දැදුරුඔයත් අතර වූ පහළොස්‌ පත්තුවට අධිපති දෙවියකු ලෙසින් ද සැලකේ. රතු නිල් සහ සුදු පාටින් යුක්‌ත ඇඳුම් කට්‌ටලයකින් සැරසී සිටින කම්බිලි දෙවියන්ගේ ඔටුන්න නීල වර්ණ මල්වලින් යුක්‌ත වන අතර අතෙහි යගදාවක්‌ ද වේ. ගවයෙකු හා දිවියකු මරා ලේ බොන බව ද පැවසෙන මොහු කළුකම්බිලි යකා යනුවෙන් ද හැඳින්වේ.

හත් මාළුව සහිත බත් කිරි මුට්‌ටියක්‌ සහ මෙයට අමතරව කැවුම් කෙසෙල් ගෙඩි පිදවිලි වශයෙන් දිය යුතු වේ. ‘නාරායන’ නම් දෙවි කෙනෙකු කම්බිලි දෙවියන්ට උදව් කළ බව ද කළු කම්බිලි අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ආරක්‍ෂකයකු ලෙස සිටින බව ද පැවැසේ.

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ හාරිස්‌පත්තුව බොක්‌කාවල ප්‍රදේශයේ කළු කම්බිලි දෙවි ඇදහීමක්‌ ද පවතී. සිංහල දේව පුරාණයේ සඳහන් වන ආකාරයට මොහු දේවතාවෙකු ලෙස සැලකුවත් මොහුගේ උප්පත්ති කතාව අනුව සැලකිය හැකි වන්නේ යක්‍ෂයෙකු ලෙසිනි.

මහනුවර රාජ්‍ය සමයේ හාරිස්‌පත්තුව බොක්‌කාවල ප්‍රදේශයේ මුරපළක්‌ විය. මෙම මුරපළින් එහා මෙහා යන වෙළෙන්දන්ගෙන් අයබදුÊගැනීම එකල සිරිතක්‌ව පැවතුණි. මෙම අයබදුÊගැනීම එදා හැඳින්වූවේ සුංගම් ගැනීම යනුවෙනි. එවක සුංගම යනු තුට්‌ටුවක මුදලකි.

එක්‌තරා දුම්කොළ වෙළෙන්දෙක්‌ දුම්කොළ මිටියක්‌ රැගෙන මෙම ස්‌ථානයෙන් යන අවස්‌ථාවේ මුරකරුවෝ ඔහු නවතා සුංගම් ඉල්ලූහ. වෙළෙන්දා සුංගම් වෙනුවට දුම්කොළ ස්‌වල්පයක්‌ දීමට ඉල්ලා සිටියේය. මුරකරුවෝ ඊට නොකැමැති වූහ. අනතුරුව මුරකරුවෝත්, දුම්කොළ වෙළෙන්දාත් අතර බහින්බස්‌ වීමක්‌ ඇතිවිය. මෙහිදී මුරකරුවෝ වෙළෙන්දාට පහර දී දුම්කොළ මිටිය ද උදුරා ගත්හ. මුරකරුවන්ගෙන් පහර කා හිස්‌ අතින් ගෙදර ගිය වෙළෙන්දා ටික දිනක්‌ මේ සඳහා කළ යුතු දේ ගැන සිතුවේය. මන්ත්‍රකරුවෙක්‌ වූ වෙළෙන්දා දුම්කොළ මිටියක්‌ ද සහිතව වෙළෙන්දෙකු ආකාරයෙන් පිල්ලියක්‌ මුරපළ වෙත යෑවීමට සිතා ඒ සඳහා යුහුසුළු විය. වෙළෙන්දා කල්යල් බලා වහා පිල්ලිය මුරපළ වෙත යෑවීය. මෙහිදී සුපුරුදු පරිදි මුරකරුවෝ මෙම තැනැත්තාගෙන් සුංගම් ඉල්ලූහ. මෙහිදී වෙළෙන්දා මෙන් පෙනී සිටි පිල්ලිය අතැති දුම්කොළ මිටියෙන් මුරකරුවන්ට පහර දෙන්නට විය. පහර කෑ මුරකරුවෝ ඉවක්‌ බවක්‌ නොමැතිව හිස්‌ ලූ ලූ අත දුවන්නට වූහ.

මෙම සිදුවීමෙන් පසු මෙම ස්‌ථානයේ මුරකාවල් බිඳී ගිය බව ද කාවල බිඳීගිය ස්‌ථානය එවක පටන් ‘බොක්‌කාවල’ යනුවෙන් ව්‍යවහාර වුණ බව ද පැවැසේ. මුරකාවල බිඳී ගිය එම ස්‌ථානයේ ඉන් පසුව කම්බිලි අවතාරය පවතින බව මෙතෙමේ කම්බිලියක්‌ පොරවාගත් අයෙකු බැවින් ඔහු කළුකම්බිලි යනුවෙන් ව්‍යවහාරයට පත් වුණ බව ද පැවැසේ. කම්බිලි තුන්කට්‌ටුවේ දෙවැන්නා සැඩකම්බිලි වේ. මඳ කළු පැහැති කම්බිලියකින් සැරසී සිටින මෙතෙමේ හිසකෙස්‌ හැඩබලු සේ ගෙතුනු හිසකින් යුතු වූවෙකි. කතරගම දෙවියන්ගේ අන්තේවාසිකයකු ලෙස ද සැලකෙන සැඩ කම්බිලිගේ දේවාලය කසාගල ප්‍රදේශයේ පවතී.

කුමරුන් ගත පිළී

මධ කළු පාට බැබ ලී

සැඩ පළු හිස වෙ ලී

දෙවැනි කුමරා එසැඩ කම් බිලී

කසාගල කෝවිලේ වැඩ සිටින සැඩකම්බිලි දෙවියන් ප්‍රදේශයේ නගරවල සහ ගම්වල තම බලය පතුරවමින් ජනතාවගේ ලෙඩ දුක්‌ කරදර වලට පිහිට වෙමින් වෙසෙන බව පැවැසේ. කසාගල ප්‍රදේශයේ සිය අණසක පැතිරවූ සැඩකම්බිලි දෙවියන්ට බය පක්‍ෂපාතීත්වය දැරුවන් කෝවිලක්‌ කරදුන් බව සිංහල දේව පුරාණයේ සඳහන් මේ පද්‍යයෙන් පැහැදිලි වේ.

කසාගල සිට ලා

තම අණ පතුරුවා ලා

සැම සත් බියවෙ ලා

ඔහුට කෝවිලක්‌ කර පුද ලා

සැඩකම්බලි දෙවියන් කසාගල ප්‍රදේශයේ ජනතාවට සිදුවන යක්‍ෂ උවදුරු දුරලන බව ද වල් අලින් පලවාහැර විපත් වලින් ආරක්‍ෂා කරන බව ද පැවැසේ.
ෙච්තිය යක්‍ෂණියගේ තුන්වන පුතුවන්නේ රත්න කම්බිලියි. මෙතෙමේ රක්‌ත වර්ණ වූ කම්බිලියක්‌ පොරවා සිටියි. කතරගම දෙවියන්ගේ රන් තොරණ මුරකරු ලෙස ද සිටින රත්න කම්බිලි රතු ඇඳුම් කට්‌ටලයකින් සැරසී සිටියි. කලාඔය පෙදෙසේ කාරදූව දක්‌වා මෙම දෙවියන්ගේ අණසක පවතී. ජනතාවගේ සියලු ලෙඩදුක්‌ වසංගත රෝග, උමතු රෝග සුව කිරීමේ බලයක්‌ මෙම දෙවිඳුන්ට පවතින බව ජන විශ්වාසයේ පවතී. වීර වික්‍රම රත්න බණ්‌ඩාර, මල්බලිගල දෙවි රත්නකඩවර දෙවි සහ කම්බිලි කුමාර යනුවෙන් ද මෙම දෙවියන් හැඳින්වේ.

රත්න කම්බිලි උප්පත්තිය සම්බන්ධව ජනප්‍රවාද රාශියක්‌ පවතී. එක්‌ උපත් කතාවකට අනුව මෙතෙමේ කිරි මුහුදින් හා කළුනික පඳුරෙන් උපන් කෙනෙකු බව ද පැවැසේ.

දුම්රක්‌ගල යක්‌ සෙනි මවුසෙන් දිලි

දිඹුලාගල වැඩිමල්a කළුකම්බි ලි

කසාගලය දෙවැනි වූ සැඩ කම්බි ලි

ලේවාකඩ අධිපති රත්න කම්බි ලි

කම්බිලි දෙවි තුන්කට්‌ටුවෙන් කළු කම්බිලි දිඹුලාගල ද, සැඩ කම්බිලි කසාගල ද, රත්න කම්බිලි ලේවාකඩද අධිපතිත්වය දරමින් වැඩ වාසය කරන බැව් සිංහල දේව පුරාණයෙහි සඳහන් වේ.

ඡායාරූපය – නවගමුව පත්තිනි දේවාලයේ පිහිටි කම්බිලි දේවාලයෙනි.

පූගොඩ – සරණපාල නුවරපක්‍ෂ